ඇමරිකාවේ චිකාගෝ නුවර මිලේනියම් උද්‍යානයේ පිහිටි ලෝක ප්‍රසිද්ධ ‘ක්ලවුඩ් ගේට්’ හෙවත් ‘ද බීන්’ නම් දැවැන්ත ප්‍රතිමාව චලනය කිරීම සඳහා සිය ගණනක පිරිසක් එක්වූ අපූරු සිදුවීමක් වාර්තා වේ.
ප්‍රතිමාව අභ්‍යන්තරයේ පුද්ගලයෙකු සිරවී සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ පත්‍රිකා මගින් පැතිර ගිය කතාවක් මත මෙම පිරිස උද්‍යානය වෙත රැස්වී ඇත. ප්‍රතිමාව අඟල් හතක් වමට තල්ලු කළහොත් යටින් ඇති දොරක් විවෘත කරගත හැකි බවට එම පත්‍රිකාවල සඳහන් කර තිබූ බව පැවසේ.
ඒ අනුව, එම ආරාධනාව පිළිගත් සිය ගණනක පිරිසක් ප්‍රතිමාව වටා පෙළගැසී දෑත්වලින් එය තල්ලු කිරීමට දැඩි උත්සාහයක් ගෙන තිබේ. මෙම අපූරු මෙහෙයුම දැකබලා ගැනීමට සහ එහි වීඩියෝ පටිගත කිරීමට බොහෝ දෙනෙක් කටයුතු කර ඇති අතර, ඒවා මේ වන විට අන්තර්ජාලයේ දැඩි අවධානයට ලක්ව ඇත.
කෙසේ වෙතත්, කොතරම් පිරිසක් එකතු වී උත්සාහ කළද, ටොන් 110ක් බරැති මෙම දැවැන්ත රිදී පැහැති ප්‍රතිමාව අඟලක් හෝ සෙලවීමට ඔවුන්ට හැකි වී නැත. අවසානයේදී කිසිදු වෙනසක් සිදු කරගැනීමට නොහැකි වීමෙන් පසු රැස්ව සිටි පිරිස විසිර ගොස් තිබේ.
මෙම ප්‍රතිමාව ඇතුළේ පුද්ගලයෙකු සිරවී ඇති බවට පවතින කතාව කලක සිට අන්තර්ජාලයේ සංසරණය වන කටකතාවක් වන අතර, මීට පෙරද ඒ සම්බන්ධයෙන් විරෝධතා පවා මතුවී තිබිණි. කෙසේ වෙතත්, මෙම සිදුවීම අතරතුර ප්‍රතිමාවට කිසිදු හානියක් සිදුවී නොමැති අතර, කිසිදු තුවාල ලැබීමක්ද වාර්තා වී නැත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර