අඟුරුවාතොට ප්‍රදේශයේ පිහිටි ‘සෙනෙහසේ කැදැල්ල’ නමැති විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් රැඳී සිටි නිවාසයක හටගත් හදිසි ගින්නකින් පුද්ගලයන් 12 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට මූලික පරීක්ෂණවලදී සැක පළ කෙරේ.
ගින්න හටගන්නා අවස්ථාවේදී එම නිවාසයේ පුද්ගලයන් 72 දෙනෙකු පමණ සිට ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ සහ ගිනි නිවීමේ ඒකකවල දැඩි උත්සාහය මත පුද්ගලයන් 51 දෙනෙකු බේරා ගැනීමට හැකි විය. බේරාගත් පිරිස බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ තාවකාලිකව රඳවා පසුව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.
ගින්න මැඬපැවැත්වීම සඳහා ප්‍රදේශයේ තරුණයන් කිහිප දෙනෙකු සිය ජීවිත පරදුවට තබා කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය විය. ඔවුන් දොරවල් කඩා ඇතුළු වී අසරණව සිටි පිරිස බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරා තිබුණි. කෙසේ වෙතත්, ගින්න පැතිර ගිය වේගය සහ නිවාසයේ පැවති ආරක්ෂිත බාධක හේතුවෙන් ඇතැම් පිරිසක් බේරා ගැනීමට නොහැකි වූ බව වාර්තා වේ.
මෙම ආයතනය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් පවත්වාගෙන ගිය එකක් බවත්, ඇතැම් රැඳවියන් දම්වැල්වලින් බැඳ තබා තිබූ බවටත් ඥාතීන් චෝදනා නගයි. ආයතනයේ හිමිකරු සම්බන්ධයෙන්ද මේ වන විට විවිධ මත පළ වෙමින් පවතින අතර, අදාළ සිදුවීම පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කෙරෙමින් පවතී.
සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වූ මෙම ගොඩනැගිල්ලේ සිටි බොහෝ දෙනෙකුට සිය ජීවිතය පිළිබඳව හෝ අවබෝධයක් නොතිබූ අහිංසකයන් වීම මෙම ඛේදවාචකයේ ඇති වේදනාබරම පැතිකඩයි. මියගිය පිරිස අතරින් ඇතැමුන්ගේ සිරුරු හඳුනාගත නොහැකි තරමට දැවී ගොස් තිබීම හේතුවෙන් පවුල්වල ඥාතීන් දැඩි පීඩාවකට ලක්ව සිටිති.
