වර්තමාන සමාජය තුළ ස්වයං විනය සහ සමාජීය විනය ගොඩනැගීම අනාගත පරපුරේ යහපත උදෙසා අත්‍යවශ්‍ය සාධකයක් බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කරයි. ලෝක දුම්කොළ විරෝධී දිනය නිමිත්තෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දුම්කොළ සහ මත්ද්‍රව්‍යවලින් තොර සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට දරුවන් සහ තරුණ පරපුර යොමු කිරීම වැඩිහිටියන් සතු වගකීමක් බව ඔහු පෙන්වා දුන්නේය. දුම්කොළ භාවිතය පුද්ගලයාට පමණක් නොව පවුලේ සාමාජිකයන්ට සහ සමීපතමයන්ටද අහිතකර බලපෑම් ඇති කරන බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අදහස් දක්වමින් කියා සිටියේ, දුම්කොළවලින් තොර පරපුරක් බිහිකිරීම සඳහා රජය දැඩි කැපවීමකින් කටයුතු කරන බවයි. බොහෝ තරුණයන් දුම්වැටි භාවිතයට යොමුවීම නව යොවුන් වියේදී ආරම්භ වන බැවින්, එම අවධියේදීම එය වැළැක්වීම බෝ නොවන රෝග අවම කර ගැනීමට ඇති හොඳම විසඳුම බව ඔහු පැවසීය.

දුම්කොළ කර්මාන්තයේ ප්‍රවර්ධන උපක්‍රම සම්බන්ධයෙන් රජය දැඩි අවධානයෙන් පසුවන බවත්, දුම්කොළ පාලන නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් සංවිධානය කළ මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය මේමෝයි ටකේයුචි මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version