දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත් ප්‍රදේශවල ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්යසාධක බලකාය පසුගියදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්විය.
මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවලදී තාක්ෂණ නිලධාරීන්ගේ හිඟය සහ භූමි පරීක්ෂණ වාර්තා ලබා ගැනීමේදී මතුව ඇති ප්‍රමාදයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එම ගැටලුවට විසඳුමක් ලෙස තාක්ෂණ නිලධාරීන් 125 දෙනෙකු බඳවාගෙන ඇති අතර, ඔවුන් ලබන සඳුදා සිට අදාළ ආයතන වෙත අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත.
ආපදාවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා වන්දි ගෙවීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. විශේෂයෙන්ම මාතලේ, පුත්තලම, කෑගල්ල, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල නිවාස ඉදිකිරීමේදී මතුව ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දෙන ලදී.
එමෙන්ම, හානියට පත් මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ සහාය ලබා ගැනීමට නියමිත බවත්, ඒ සඳහා වන ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බවත් බලධාරීන් සඳහන් කළහ. ආපදාවට ලක්වූ ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත්ව ඇති බවද මෙහිදී තහවුරු විය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති, ආචාර්ය උපාලි පන්නිලගේ, වෛද්‍ය සුසිල් රණසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.
