ඉරානයේ සාධාරණ සහ නීත්‍යානුකූල ඉල්ලීම් මෙන්ම එරට ස්වෛරීභාවය සහ ආරක්ෂාව තහවුරු කරගැනීම උදෙසා චීනය සැමවිටම පෙනී සිටින බව චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී මහතා ප්‍රකාශ කළේය.

ඉරාන විදේශ අමාත්‍ය සෙයෙඩ් අබ්බාස් අරග්චි මහතා සමඟ පැවැති දුරකථන සංවාදයකදී චීන විදේශ අමාත්‍යවරයා මේ බව අවධාරණය කර තිබේ. කලාපීය රටවල් සමඟ සබඳතා ශක්තිමත් කරගනිමින් ආරක්ෂක රාමුවක් ගොඩනැගීමට ඉරානය දරන උත්සාහය චීනය අගය කරන බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ඉරාන විදේශ අමාත්‍යවරයා, ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබූ පළමු අදියරේ අවබෝධතා ගිවිසුම සඳහා චීනය ලබාදුන් සහාය සිහිපත් කරමින් ස්තුතිය පළ කළේය. ලෙබනනයට එරෙහි ඊශ්‍රායල හමුදා මෙහෙයුම් නතර කිරීම ඇතුළු කරුණු රැසක් මෙම ගිවිසුමට ඇතුළත් බවද ඔහු පැවසීය.

ගැටුම් විසඳීම සඳහා බලය හෝ හමුදා ක්‍රියාමාර්ග භාවිත කිරීම අසාර්ථක බවත්, ඒ වෙනුවට සංවාද සහ සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීම වඩාත් සුදුසු බවත් චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමන ගැටලු ඇතුළු ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති කරුණු සාමකාමීව විසඳා ගැනීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

කලාපීය සාමය සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා චීන-ඉරාන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දෙරටම එකඟතාව පළ කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version