ඇමෙරිකාවේ නෝත් කැරොලිනා ප්‍රාන්තයේ පිහිටි ජර්මානු පාපන්දු කණ්ඩායමේ පුහුණු කඳවුර අවට ප්‍රදේශයේ අධික විෂ සහිත සර්පයන් ගැවසීම හේතුවෙන් ක්‍රීඩකයින් දැඩි අවදානමකට ලක්ව තිබේ. මෙම ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන ‘කොපර්හෙඩ්’ වර්ගයේ විෂ සර්පයන් කිහිප දෙනෙකුම පුහුණු කඳවුර ආසන්නයේදී හමුවීම මෙම නොසන්සුන්තාවයට හේතුවයි.
ජර්මානු කණ්ඩායමේ නායක ජෝෂුවා කිමිච් පවසන්නේ, තණකොළ අතර සැඟවී සිටින මෙම සර්පයන් පිළිබඳව ක්‍රීඩකයින් දැඩි අවධානයෙන් පසුවන බවයි. “සර්පයෙක් දෂ්ට කළහොත් වහාම රෝහල්ගත වීමට සිදුවන අතර, එය ක්‍රීඩකයෙකුගේ වෘත්තීය ජීවිතයට මෙන්ම සෞඛ්‍යයටත් ඉතා අහිතකර ලෙස බලපෑ හැකියි,” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.
මෙම ගැටලුව ජර්මානු කණ්ඩායමට පමණක් සීමා වී නොමැත. ස්විට්සර්ලන්තය සහ නෝර්වේ කණ්ඩායම් ද තම පුහුණු කඳවුරු අවට පවතින සර්පයන්ගේ තර්ජනය පිළිබඳව සිය අප්‍රසාදය පළ කර ඇත. විශේෂයෙන්ම ස්විට්සර්ලන්ත කණ්ඩායම සිය පුහුණු කඳවුර පිහිටි ප්‍රදේශය ‘සර්පයන් ගැවසෙන කලාපයක්’ ලෙස හඳුනා ගැනීමට පියවර ගෙන තිබුණි.
නෝර්වේ කණ්ඩායමේ නායක ක්‍රිස්ටියන් තෝස්ට්වෙඩ් පවසන්නේ, ලෝක කුසලානය වැනි උසස් තරගාවලියකට සූදානම් වන ක්‍රීඩකයින්ට සෑම පියවරක්ම තැබීමට පෙර බිම දෙස බැලීමට සිදුවීම කනගාටුදායක තත්ත්වයක් බවයි. කෙසේ වෙතත්, මෙම බාධක මධ්‍යයේ වුවද ජර්මානු කණ්ඩායම සිය තරගාවලියේ මීළඟ අභියෝග සඳහා සූදානම් වෙමින් සිටී.
