2026-2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව තුළ සිදු කළ යුතු නව්‍යකරණ වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී අපනයනකරුවන්ට සිය කටයුතු වඩාත් පහසුවෙන් සිදු කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. විශේෂයෙන්ම අපනයන බහලුම් පරීක්ෂා කරනු ලබන මධ්‍යස්ථානයේ (Export Facilitation Centre) ධාරිතාව සහ පහසුකම් ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා උපදෙස් ලබා දුන්නේය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අපනයන ක්ෂේත්‍රයට යොමු කර ගැනීම සඳහා දැනට පවතින TIEP ක්‍රියාවලිය සමාලෝචනය කිරීමටත්, රේගු කටයුතු විමධ්‍යගත කරමින් යාපනය ප්‍රදේශයේ නව අපනයන මධ්‍යස්ථානයක් පිහිටුවීමේ හැකියාව සොයා බැලීමටත් මෙහිදී තීරණය විය.

එසේම, ඊ-වාණිජ්‍ය (e-commerce) හරහා සිදු කෙරෙන අපනයන කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව සමඟ එක්ව විධිමත් කිරීම සහ ඩිජිටල් ක්‍රමවේද භාවිතයෙන් ලිපි ලේඛන කටයුතු කඩිනම් කිරීම මගින් පිරිවැය අවම කර ගැනීමට ද අවධානය යොමු විය.

2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා රේගුව, අපනයන සංවර්ධන මණ්ඩලය සහ අදාළ ආයතන එක්ව මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීමට ද මෙහිදී තීරණය කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version