බටහිර සහ ආයුර්වේද වෛද්‍යවරියක ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් දිගු කලක් තිස්සේ මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ කාන්තාවක් හොරණ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය 53 හැවිරිදි අවිවාහක කාන්තාවක් වන අතර ඇය මීට පෙර ගිරිබාව ප්‍රදේශයේ පදිංචිව සිට පසුව හොරණ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක පදිංචිව සිටි අයෙකි.
සැකකාරිය ජනතාව මුළා කිරීම සඳහා කුලී පදනම මත සුඛෝපභෝගී මෝටර් රථ ලබාගෙන, ඒවායේ වෛද්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරමින් විවිධ ප්‍රදේශවල නොමිලේ වෛද්‍ය සායන පවත්වා ඇත. විදේශ රටවලින් වටිනා ඖෂධ ගෙන්වන බව පවසමින් රෝගීන්ගේ විශ්වාසය දිනාගෙන, එම ඖෂධ වරායෙන් මුදා ගැනීමට මුදල් අවශ්‍ය බව පවසමින් ඇය වසර එකහමාරක පමණ කාලයක් තුළ රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඇය විසින් ලබා දී ඇත්තේ මෙරට භාවිතය සඳහා අනුමත නොකළ ප්‍රමිතියෙන් තොර ඖෂධ බවද පොලිසිය පවසයි. ගම්පහ, මදුරාවල, මිල්ලනිය, බණ්ඩාරගම, හොරණ සහ ඉංගිරිය යන ප්‍රදේශවල සාමාන්‍ය වැසියන් මෙන්ම ප්‍රසිද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් පවා ඇයගේ මෙම ජාවාරමට හසුවී ඇත.
සැකකාරියගේ වෛද්‍ය සුදුසුකම් සම්බන්ධයෙන් ඇති වූ සැකය මත පොලිසිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් සහ ආයුර්වේද වෛද්‍ය සභාවෙන් සිදුකළ විමසීම්වලදී, ඇය කිසිදු වෛද්‍ය සභාවක ලියාපදිංචි වී නොමැති ව්‍යාජ වෛද්‍යවරියක බව තහවුරු වී තිබේ. සැකකාරියගේ නමින් ලියාපදිංචි කර ඇති ව්‍යාජ සමාගම් දෙකක් හරහා මෙම මුදල් විදේශගත කර ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
