මැයි 15 වන දින වන විට ශ්‍රී ලංකාවට ආනයනය කර අවසන් වූ වාහනවල මිල ගණන් ඉහළ දැමීම කිසිසේත් සාධාරණ නොවන බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වාහන ආනයනය සම්පූර්ණයෙන් අත්හිටුවීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. එමෙන්ම ණයවර ලිපි විවෘත කිරීම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවට පැතිර යන වාර්තා ද සත්‍යයෙන් තොර බව ඔහු අවධාරණය කළේය.

විදේශ විනිමය සංචිතවලට ඇති විය හැකි පීඩනය අවම කිරීම සඳහා වාහන ආනයන බදු සඳහා තාවකාලික අධිභාරයක් පැනවීමට රජය පියවර ගත්තේය. රුපියලේ අගය කෙරෙහි අනවශ්‍ය බලපෑමක් ඇතිවීම වැළැක්වීම මෙහි අරමුණ බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

පුද්ගලික භාවිතය සඳහා වාහන ආනයනය කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන්ගෙන් මාස තුනක කාලයක් එය කල් දමන ලෙස රජය ඉල්ලීමක් කර ඇත. කෙසේ වෙතත්, එම කාලය බලා සිටිය නොහැකි අයට අදාළ අධිභාරය ගෙවා වාහන ආනයනය කිරීමේ හැකියාව පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version