ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව, බොරතෙල් මිල ගණන් පසුගිය වසරේ ජුනි මස 19 වන දින පැවති අගයට සමාන මට්ටමක් දක්වා පහත වැටී ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.
නවතම දත්තවලට අනුව, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73.83ක් ලෙස සටහන් වී ඇති අතර එය සියයට 3.85ක පහළ යාමකි. එසේම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 3.66කින් අඩු වී ඩොලර් 76.64ක් ලෙස වාර්තා වේ.
මීට අමතරව මර්බන් බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 71.02ක් දක්වා පහත වැටී ඇති අතර එය සියයට 4.43ක අඩුවීමකි.
මෙම මිල පහළ යාම ගෝලීය බලශක්ති වෙළෙඳපොළ තුළ සිදු වූ සැලකිය යුතු වෙනසක් ලෙස ආර්ථික විෂ්ලේෂකයෝ පෙන්වා දෙති.
