මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ, පාදුක්ක වටරැක එළිමහන් සිර කඳවුරේ පිහිටි සුනීත විද්‍යාලයෙන් සුවිශේෂී පුවතක් වාර්තා වේ. එහි නේවාසිකව ඉගෙනුම ලැබූ රැඳවුම් භාරයේ පසුවන තරුණ සිසුන් හය දෙනෙකු විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇත.

මෙම සිසුන් පිරිස වටරැක එළිමහන් බන්ධනාගාර පරිශ්‍රය තුළම ස්ථාපිත කර ඇති සුනීත විද්‍යාලයේ විශේෂ විභාග මධ්‍යස්ථානය හරහා මෙවර විභාගයට පෙනී සිටියහ. මීට වසර කිහිපයකට පෙර විවිධ සමාජ විරෝධී ක්‍රියා සහ සුළු වැරදි හේතුවෙන් නීතියේ රැහැනට හසුවූ මෙම තරුණයින්, බන්ධනාගාරගතව සිටියදී සිය අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කර තිබීම කැපී පෙනේ.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන්ම වෙන්වූ එකම නිල පාසල වන්නේ සුනීත විද්‍යාලයයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව 2014 වසරේදී මෙම පාසල ආරම්භ කරනු ලැබුවේ, වැරදි මඟට යොමුවූ දරුවන් යහමඟට ගෙන ඔවුන් සමාජයට ප්‍රයෝජනවත් පුරවැසියන් ලෙස බිහි කිරීමේ අරමුණෙනි.

මෙම ජයග්‍රහණයත් සමඟ බන්ධනාගාරගතව සිටියද අධ්‍යාපනය තුළින් සිය අනාගතය යහපත් කර ගැනීමට උත්සාහ දරන සිසුන් වෙනුවෙන් සමාජයේ බොහෝ දෙනෙකු සිය සුබ පැතුම් එක් කරමින් සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version