ශ්‍රී ලාංකීය සිනමාවේ නව පිබිදීමක් සනිටුහන් කරමින් දමිළ සහ සිංහල සිනමාකරුවන්ගේ එකමුතුවෙන් නිර්මාණය වන ‘වීරා’ චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදී පැවැත්විණි. Good Friends Cine Production (Pvt) Ltd නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරනු ලබන්නේ මාස්ටර් ක්‍රිෂ්ණා විසිනි.

මෙම සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතය සඳහා අඛිල ධනුද්ධර ද, විලන් චරිතය සඳහා දසුන් පතිරණ ද රංගනයෙන් දායක වේ. දමිළ භාෂාවෙන් නිර්මාණය වුවද, ශ්‍රී ලාංකීය සිනමාව ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

මුහුරත් උළෙලේදී අදහස් දක්වමින් අඛිල ධනුද්ධර සඳහන් කළේ, මෙය ලෝක සිනමාවට පිවිසීමට තබන වැදගත් පියවරක් බවයි. විශේෂයෙන්ම නෙට්ෆ්ලික්ස් වැනි ජාත්‍යන්තර වේදිකා ඔස්සේ මෙම නිර්මාණය ප්‍රේක්‍ෂකයන් වෙත රැගෙන යාමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

දසුන් පතිරණ සිය අදහස් දක්වමින් කියා සිටියේ, මෙවැනි සහයෝගීතා සිනමා නිර්මාණයක් සඳහා තමන් බොහෝ කලක සිට බලාපොරොත්තුවෙන් සිටි බවයි. දමිළ සහ සිංහල කලාකරුවන්ගේ මෙම එකමුතුව ශ්‍රී ලාංකීය සිනමාව ඉදිරියට ගෙන යාමට ලැබෙන මහඟු අවස්ථාවක් බව ඔහු අවධාරණය කළේය.

අතීතයේ පැවැති සිලෝන් තියටර්ස් සහ සිනමාස් වැනි ආයතන හරහා දමිළ අධ්‍යක්‍ෂවරුන් සහ සිංහල නළු නිළියන් එක්ව කළ නිර්මාණ මෙන්, යළිත් වරක් මෙවැනි සබඳතාවක් ගොඩනැගීම සිනමා ක්ෂේත්‍රයේ විශේෂ අවධානයට ලක්ව තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version