ආරච්චිකට්ටුව, වයිරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 13 හැවිරිදි එස්.ජේ.එම්. ලකිඳු චාමික නැමැති පාසල් සිසුවා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහු හැලඹවටවන මහා විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.

සිද්ධිය වූ දින සවස පාසල් මිතුරෙකු සමඟ පාවහන් යුගලක් මිලදී ගැනීමට බව පවසා නිවසින් පිටව ගොස් ඇති සිසුවා, රහසේම සෙන්ගල්ඔය වැලි තුඩුව මංකඩ ප්‍රදේශයට දිය නෑමට ගොස් තිබේ. එහිදී ඔහු දියේ ගැඹුරු ස්ථානයකට වැටී ගිලී ගොස් ඇති බව වාර්තා වේ.

සිසුවා සමඟ ගිය මිතුරා කෑගැසීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පැමිණ ඔහුව ගොඩගෙන ආනවිළුන්දාව රෝහලට ඇතුළත් කළ ද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි. හලාවත මහ රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙය දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් බව තහවුරු විය.

මියගිය සිසුවාගේ අවසන් කටයුතු අද (21) ආරච්චිකට්ටුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version