නාවලපිටිය, රඹුක්පිටිය සහ කැන්දෝපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවාස බිඳ රන් භාණ්ඩ හා මුදල් සොරාගත් පුද්ගලයෙකු නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැන්දෝපිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මහේෂ් මදුසංක නොහොත් ‘ටික්කා’ නමැති එක්දරු පියෙකි. මොහු අයිස් මත්ද්‍රව්‍යයට දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙකු බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සොරකම් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබූ බවත් පොලිසිය පවසයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය කාලසීමාව තුළ නිවාස 08ක් බිඳ රුපියල් ලක්ෂ 35කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ, මුදල් සහ ජංගම දුරකථන සැකකරු විසින් සොරාගෙන ඇති බවයි. සොරාගත් රන් භාණ්ඩ සැකකරුගේ නිවස ආසන්නයේ වළ දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රකාශ කර ඇත්තේ මත්ද්‍රව්‍ය ලබාගැනීම සඳහා මුදල් අවශ්‍ය වූ බැවින් සොරකම් සිදුකළ බවයි. විශේෂයෙන්ම රාජකාරි කටයුතු සඳහා නිවෙස්වලින් බැහැර වන ගුරුවරුන්, බැංකු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ගේ නිවාස ඉලක්ක කර ගනිමින් මෙම සොරකම් සිදුකර ඇති බව විමර්ශනවලින් තහවුරු වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
