දිවයින පුරා පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ මර්දන කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව, දිස්ත්‍රික්ක 14ක විසිරී පවතින ග්‍රාම නිලධාරී වසම් 538ක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.
මෙම වාර්තාවට අනුව වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් බහුතරයක් මෙම ලැයිස්තුවට ඇතුළත් වේ.
කොළඹ දිස්ත්‍රික්කයේ බත්තරමුල්ල, මහරගම, පිළියන්දල, හෝමාගම, කඩුවෙල, බොරලැස්ගමුව, දෙහිවල, එගොඩඋයන සහ ගොතටුව ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස රැසක් අධි අවදානම් සහිත බව හඳුනාගෙන ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, සීදුව, කැලණිය, රාගම, මිනුවන්ගොඩ, මීගමුව, බියගම, වත්තල, කටාන සහ මහර යන ප්‍රදේශ ද මෙම ලැයිස්තුවට අයත් වේ.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, මතුගම, පානදුර, වඩ්ඩුව, කළුතර සහ පයාගල යන ප්‍රදේශවල වසම් ද අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත. බස්නාහිර පළාතට අමතරව ගාල්ල, හම්බන්තොට, මාතර, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම, බදුල්ල සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් ද මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
