සාමාන්‍යයෙන් වයස අවුරුදු 16ක් පමණ වන විට සිසුන් මුහුණ දෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය, වයස අවුරුදු 14ක් වැනි අඩු වයසකදී ඉතා ඉහළින් ජයග්‍රහණය කිරීමට ගාල්ලේ පදිංචි කේ. ඒ. බිහදු විනාල් නම් සිසුවා සමත් වී ඇත. ඔහු මෙම විභාගයට පෙනී සිට ඇත්තේ පාසල් අයදුම්කරුවෙකු ලෙස නොව පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙසිනි.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කරන දෙමාපියන්ගේ බාල පුතු වන බිහදු, මීට පෙර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 169ක් ලබා ගනිමින් ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් වූ දක්ෂ සිසුවෙකි. පාසලේ විවාද සහ කථික අංශවලින්ද ඔහු කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇත.
8 වසරේ ඉගෙනුම ලබන සමයේදී තම වැඩිමහල් සොහොයුරාගේ උසස් පෙළ පොත්පත් කියවීමට දැක්වූ කුතුහලය, බිහදුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වී තිබේ. මාස හයක වැනි කෙටි කාලයක් තුළ දැඩි කැපවීමකින් යුතුව උපකාරක පන්ති සහ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රම ඔස්සේ ඔහු විභාගයට සූදානම් වී ඇත.
විභාගයට පෙනී සිටීමේදී වයස ප්‍රමාණවත් නොවීම නිසා ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වුවද, විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ඔහු එම අභියෝගය ජයගෙන තිබේ. අනාගතයේදී වෛද්‍යවරයෙකු වීමේ අරමුණින් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට ඔහු බලාපොරොත්තු වේ.
