ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පාර්ලිමේන්තුව වෙත පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අවධාරණය කළේ, රටේ ආරක්ෂාව සහ ජනතාවගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මුලිනුපුටා දැමීමට රජය තීරණය කර ඇති බවයි.
මෙම අපරාධ ජාලයන් හුදෙක් මත්ද්‍රව්‍ය ජාවාරමට පමණක් සීමා නොවන බවත්, ඒවා දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය ආයතන තුළ පවතින දූෂිත සම්බන්ධතා සමඟ බැඳී පවතින බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එම නිසා, මෙම ගැටලුව විසඳීම සඳහා සමස්ත පද්ධතියම පිරිසිදු කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.
පසුගිය කාලසීමාව තුළ සිදුවූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුදීන් ඝාතනය සහ පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් සිවිල් ගැටුම් ලෙස නොසලකා, ඒවා දේශපාලන බලය වෙනුවෙන් සිදුකළ අපරාධ ලෙස හඳුනාගත යුතු බව ජනාධිපතිවරයා පැවසීය. මෙවැනි අපරාධවලට සම්බන්ධ පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී රජය කිසිසේත් පසුබට නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
තවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඇතුළු ආයතනවල නිලධාරීන් සිදුකරන කාර්යභාරය අගය කළ ජනාධිපතිවරයා, දේශපාලන අරමුණු වෙනුවෙන් මෙම නිලධාරීන්ට එල්ල වන චෝදනා සහ විවේචන ප්‍රතික්ෂේප කරන බවත්, රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට කැපවී සිටින බවත් අවධාරණය කළේය.
