එළඹෙන පොසොන් පොහොය උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සල් විශාල ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. වෙසක් උත්සවයට සාපේක්ෂව මෙවර වැඩි දන්සල් ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් උතුරු මැද පළාතෙන් වාර්තා වේ.
දන්සල් සංවිධානය කිරීමේදී ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතයෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය බව එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම උණුසුම් ආහාර සහ පාන වර්ග පොලිතින්වල ගබඩා කිරීම සෞඛ්‍යයට අහිතකර බවත්, එය දැඩි අවදානමක් බවත් ඔහු අවධාරණය කරයි.
පවතින ඩෙංගු ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, දන්සල්වලදී බැහැර කෙරෙන ප්ලාස්ටික් කෝප්ප සහ බඳුන් මදුරුවන් බෝවීමට හේතු විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. බීම දන්සල්වලින් පසු පරිසරයට මුදාහැරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත්, එවැනි ද්‍රව්‍ය නිසි ලෙස බැහැර කරන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉල්ලා සිටිති.
දන්සල්වලදී ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි පරීක්ෂා කිරීම් සිදුකරන බවද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.
