මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපනය කර ඇති නව සී.ටී. (CT) ස්කෑන් යන්ත්‍රය නිසි පරිදි රෝහලට භාර නොගැනීම හේතුවෙන් රෝගීන් 800කට වැඩි පිරිසකගේ ප්‍රතිකාර කටයුතු ඇනහිට ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර, ප්‍රතිකාර සැලසුම් කිරීම සඳහා මෙම පරීක්ෂණය අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව ඇත. කෙසේ වෙතත්, යන්ත්‍රය ස්ථාපනය කර අවසන් වුවද එය භාර ගැනීමේ කටයුතු තවමත් සිදු නොවී තිබීම බරපතළ තත්ත්වයක් බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පෙන්වා දෙයි.

මෙම යන්ත්‍රය භාර ගැනීම සඳහා රෝහල් අධ්‍යක්ෂවරයා විසින් මේ මස මුලදී කමිටුවක් පත් කර තිබුණි. එසේ වුවද, රෝහලේ ඇතැම් පාර්ශ්වයන්ගේ බලපෑම් හේතුවෙන් යන්ත්‍රය භාර ගැනීමේ ක්‍රියාවලිය දිගින් දිගටම ප්‍රමාද වෙමින් පවතින බව වාර්තා වේ.

මෙම ප්‍රමාදය හේතුවෙන් රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර කටයුතු දිනෙන් දින කල් යෑම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව වෘත්තීය සමිති නියෝජිතයින් වැඩිදුරටත් අවධාරණය කරති.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version