සිනමා නිර්මාණ කිහිපයක් හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂ මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ. ඇය රඟපෑ ‘කාමර අංක 106’ චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගී වූ අවස්ථාවේ ඇය පැළඳ සිටි ඇඳුම සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙමින් පවතී.
තම ඇඳුම පිළිබඳව අදහස් දක්වමින් ඩිස්නි පවසන්නේ තමන් විලාසිතාවන්ට දැඩි ලෙස ඇලුම් කරන බවත්, එය කිසිසේත්ම ආන්දෝලනයක් ඇති කිරීමේ අරමුණින් සිදුකළ දෙයක් නොවන බවත්ය. ලෝකයේ වෙනත් රටවල ජනප්‍රිය විලාසිතාවක් අනුගමනය කරමින් තමන් එය ඇඳි බවත්, ඒ පිළිබඳව එල්ල වූ ඇතැම් විවේචනවල කිසිදු හරයක් නොමැති බවත් ඇය පවසයි.
වේල්ලවීදිය සිද්ධිය ඇසුරින් නිර්මාණය වූ ‘කාමර අංක 106’ චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, තමන් එම චිත්‍රපටය නැරඹීමෙන් පසු විශාල තෘප්තියකට පත් වූ බවයි. රංගන ශිල්පිනියක ලෙස චිත්‍රපටය තිරගත වන තෙක් තමන් තුළ තිබූ චකිතය නැරඹීමෙන් පසු පහව ගිය බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
විදෙස්ගතව අධ්‍යාපනය හදාරන අතරතුර මෙම චිත්‍රපටයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඇය අදහස් දැක්වූවාය. අධ්‍යක්ෂවරයාගේ ආරාධනය මත තමන්ගේම වියදමින් ලංකාවට පැමිණ රූගත කිරීම්වලට සහභාගී වූ බවත්, සිනමාවට ඇති ආදරය නිසාම එම කැපකිරීම සතුටින් සිදුකළ බවත් ඇය පැවසුවාය.
තමන්ගේ වෘත්තීය ජීවිතය සහ විදෙස් අධ්‍යාපනය සමබර කර ගනිමින් කලා කටයුතුවල නිරත වන බව පවසන ඩිස්නි, ඉදිරියටත් හොඳ නිර්මාණ ලැබුණහොත් ඒවා භාර ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළාය.
