ප්‍රසිද්ධ ආපනශාලා ජාලයක් වන ‘මිස්ටර් කොත්තු’ (Mr Kottu) ආයතනයේ හිමිකරු විරාජ් වික්‍රමනායක විසින් තම සේවකයකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.
අදාළ වීඩියෝ දර්ශනවල දැක්වෙන පරිදි, අලෙවිකරණ ඉලක්ක සපුරා නොමැති බව පවසමින් හිමිකරු විසින් සේවකයාට අමානුෂික ලෙස පහර දෙන අතර, ඔහුට අපහාස වන අයුරින් අසභ්‍ය වචනයෙන් බැන වදිනු ද දැකගත හැකිය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් විශාල පිරිසක් සිය අප්‍රසාදය පළ කරමින් සිටින අතර, සිද්ධිය පිළිබඳව මහරගම පොලිසිය විසින් මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
සේවකයින් කෙරෙහි මෙවැනි අමානුෂික ක්‍රියා සිදු කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයන්ගෙන් දැඩි විවේචන එල්ල වී ඇති අතර, නීතිමය පියවර ගන්නා ලෙස ද බොහෝ දෙනා ඉල්ලා සිටිති.
