ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ නිර්මාණාත්මක හා කලාත්මක කුසලතා හඳුනාගෙන ඒවා ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීමේ අරමුණින් 45 වන ජාතික යෞවන සම්මාන උළෙල – 2026 සංවිධානය කෙරේ. ජාතික තරුණ සේවා සභාව විසින් මෙවර තරගාවලි 8ක් යටතේ තරග අංශ 87ක් සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා සඳහන් කළේ, වයස අවුරුදු 15ත් 29ත් අතර ඕනෑම තරුණ තරුණියකට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මෙය කදිම අවස්ථාවක් බවයි. ග්‍රාමීය මට්ටමේ සිට දක්ෂතා හඳුනාගැනීම මෙවර විශේෂත්වයක් බව ද ඔහු පැවසීය.

මෙවර තරගාවලියට Melody සංගීතය, Steps නර්තනය, Young Voices කථික හා නිවේදන, NovaMind කෘතිම බුද්ධි (AI) නිර්මාණ, Inkspire සාහිත්‍ය, Shutter Stories ඡායාරූප, Dream Canvas චිත්‍ර සහ ආබාධ සහිත තරුණ තරුණියන් සඳහා වන Beyond Limits යන අංශ ඇතුළත් වේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම තරග සඳහා ඉදිරිපත් විය හැකිය.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න මහතා පෙන්වා දුන්නේ, මෙවර ප්‍රථම වරට දිස්ත්‍රික් මට්ටමින් සම්මාන උළෙල 25ක් ක්‍රියාත්මක කරන බවයි. ජයග්‍රාහකයින් සඳහා විශේෂ පුහුණු වැඩසටහන් ද සැලසුම් කර ඇත.

අයදුම්කරුවන්ට 2026 ජූලි 30 දිනට පෙර nysc.lk/youthawards වෙබ් අඩවිය හරහා මාර්ගගතව ලියාපදිංචි විය හැකිය. තරගාවලිය අගෝස්තු මස සිට ඔක්තෝබර් දක්වා ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් පැවැත්වීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version