ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධකරුවෙකුට විදෙස්ගතවීම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
අදාළ අපරාධකරු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු මෙරටට රැගෙනවිත් ප්‍රශ්න කිරීමේදී මෙම ව්‍යාජ ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.
පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ 2023 වසරේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා ලෙස සේවය කළ සමයේ මෙම සැකකරු විසින් අදාළ ගමන් බලපත්‍රය සකස් කර දී ඇති බවයි.
මහනුවර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි මෙම නිලධාරියා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
