රජය සතු ප්‍රධාන ව්‍යවසායන් කිහිපයක මූල්‍ය තත්ත්වය තවදුරටත් අභියෝගාත්මක මට්ටමක පවතින බව නවතම මූල්‍ය විශ්ලේෂණයකින් අනාවරණය වී තිබේ. ඒ අනුව ලංකා සතොස, මිල්කෝ සමාගම, සීනි සමාගම සහ රාජ්‍ය වැවිලි සංස්ථාව යන ආයතන ඉහළ මූල්‍ය අවදානම් සහිත කාණ්ඩයට අයත් වේ.

මෙම ආයතනවල පවතින අඛණ්ඩ අලාභ, දුර්වල ද්‍රවශීලතාවය සහ අධික ණය බර මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වී ඇති බව රජය විසින් නිකුත් කර ඇති මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශනයේ සඳහන් වේ. තෝරාගත් රාජ්‍ය ආයතන 12ක් පදනම් කරගනිමින් මෙම විශ්ලේෂණය සිදු කර ඇත.

මේ අතර, ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ වරාය අධිකාරිය වැනි ආයතනවල මූල්‍ය තත්ත්වය මිල සංශෝධන සහ මෙහෙයුම් ගැලපුම් හේතුවෙන් යම් තරමකින් ශක්තිමත් වී ඇතත්, ඒවා තවමත් අඩු අවදානම් මට්ටමක පවතින බව වාර්තා වේ. භාණ්ඩාගාරය විසින් ඇතැම් ණය සහ අලාභ පවරා ගැනීම මෙම දර්ශක ඉහළ යාමට හේතු වී තිබේ.

මෙම මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා රජය විසින් නව උපාය මාර්ග හයක් හඳුන්වා දී ඇත. ඒ යටතේ ඉහළ අවදානම් සහිත ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම, මූල්‍ය විනය පවත්වා ගැනීම, විදුලි ගාස්තු සහ ඉන්ධන මිල නියාමන යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම මෙන්ම මූල්‍ය විනිවිදභාවය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version