ඓතිහාසික තන්තිරිමලේ පුදබිම ආලෝකවත් කරමින් වාර්ෂිකව සංවිධානය කෙරෙන ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ මෙවරත් උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් 23 වැනි වරටත් ක්‍රියාත්මක වන මෙම ආලෝක පූජාව අද (27) සිට දින තුනක් පුරා පැවැත්වේ.
ආලෝක පූජාවේ සමාරම්භක උත්සවය උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. දසදහස් ගණනක් විදුලි බුබුළු මධ්‍යයේ තන්තිරිමලේ පුදබිම ආලෝකවත් කෙරෙන මෙම අවස්ථාව බැතිමතුන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත.
තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් සඳහන් කළේ, පොසොන් පුන් පොහෝ දිනට සමගාමීව අටසිල් සමාදන් වීම, භාවනා වැඩසටහන්, ධර්ම දේශනා සහ දහම් පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් බෙදා දීම ඇතුළු ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි.
බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් දන්සල්, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ නවාතැන් ඇතුළු සියලු කටයුතු සූදානම් කර ඇත. ගම්පහ බත් දන්සල ඇතුළු විවිධ පාසල් සිසුන්ගේ දායකත්වයෙන් පැවැත්වෙන ඔසුසැල් සහ දන්සල් මගින් බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසෙනු ඇත.
මෙම කටයුතු සඳහා ප්‍රාදේශීය සභාව, විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, යුද හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය විශේෂ දායකත්වයක් ලබා දෙයි. පුදබිමට පැමිණෙන බැතිමතුන්ගෙන් ජල මූලාශ්‍රවලට කසළ නොදමන ලෙසත්, පන්සල් භූමියේ පිරිසිදුකම ආරක්ෂා කරන ලෙසත් විහාරාධිපති හිමියන් විශේෂ ඉල්ලීමක් කරති.
