උතුරු පළාතේ දූපත් ආශ්‍රිතව වෙසෙන ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඩෙල්ෆ් සහ අනලයිතිව් දූපත්වල විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. දූපත්වාසීන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටලු සහ පවතින අභියෝග සෘජුව හඳුනා ගැනීම මෙම සංචාරයේ අරමුණ විය.
අමාත්‍යවරයා ඩෙල්ෆ් සහ අනලයිතිව් දූපත්වල රෝහල් පෞද්ගලිකව නිරීක්ෂණය කළ අතර, එහිදී වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය. ඖෂධ සැපයුම, වෛද්‍ය උපකරණ, හදිසි රෝගී ප්‍රවාහන පහසුකම් මෙන්ම මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක පවතින අඩුපාඩු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.
සෞඛ්‍ය සේවාව යනු භූගෝලීය සීමාවන්ට යටත් නොවන මූලික අයිතිවාසිකමක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දූපත්වල වෙසෙන ජනතාවට ප්‍රධාන භූමියේ ජනතාවට හිමිවන සේම උසස් සෞඛ්‍ය පහසුකම් ලබාදීම රජයේ වගකීමක් බව අවධාරණය කළේය. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ මානව සම්පත් සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
මෙම සංචාරය අතරතුර අමාත්‍යවරයා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වෘත්තීය ගැටලු සහ සේවා සැපයීමේදී උද්ගතවන ප්‍රායෝගික අභියෝග පිළිබඳව ද විමසා බැලීය. ඩෙල්ෆ් සහ අනලයිතිව් දූපත්වල ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය සහ ඔවුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සලකා බලා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානාදන් ඉලන්කුමරන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින්, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
