මීට වසර 2334කට පෙර බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහරහතන් වහන්සේ ප්රමුඛ ධර්මදූත පිරිස ශ්‍රී ලංකාවට වැඩම කිරීම මෙරට ඉතිහාසයේ සුවිශේෂීම සංධිස්ථානයක් ලෙස සැලකේ. මිස්සක පර්වත මස්තකයේදී දේවානම්පියතිස්ස රජතුමා මුණගැසුණු මිහිඳු මාහිමියන් දේශනා කළ චුල්ල හත්ථි පදෝපම සූත්‍රය සමඟ මෙරට බෞද්ධ පුනරුදයක් ආරම්භ විය.
මිහිඳු මාහිමියන් මෙරටට දායාද කළේ හුදෙක් බුදු දහම පමණක් නොවේ. එතෙක් පැවති සමාජ රටාව වෙනස් කරමින් ඉතා විධිමත් සංස්කෘතියක්, සාහිත්‍යයක් සහ කෘෂිකාර්මික දියුණුවක් කරා රට යොමු කිරීමට උන්වහන්සේගේ මඟපෙන්වීම ඉවහල් විය. අනුරාධපුරයේ ඉදිකෙරුණු මහා විහාරය, රුවන්වැලි සෑය සහ මිහින්තලා පුදබිම ඇතුළු පූජනීය ස්ථාන බිහිවූයේ මෙම මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙනි.
ධර්මාශෝක අධිරාජයාගේ පුත්‍රයාණන් වූ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස මෙරටට වැඩම කළේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදිය. බුදු දහම අනාගතයේ සුරක්ෂිත වන ප්‍රධාන රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව හඳුනාගැනීම මෙයට හේතු විය. එදා මිහින්තලයේදී පැවැති දෙබස ලෝකයේ ප්‍රථම ලේඛනගත බුද්ධි පරීක්ෂණය ලෙසද ඉතිහාසඥයෝ හඳුන්වති.
අදටත් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් මිහින්තලා පර්වතය වෙත ගමන් කරන්නේ මිහිඳු මාහිමියන් ඇරඹූ එම උතුම් ධර්ම විප්ලවයට කෘතෝපහාර දැක්වීමටය. බාධක හා කුමන්ත්‍රණ මැද වුවද, සිංහල බෞද්ධයන් අදටත් එම උරුමය රැකගැනීමට කැපවී සිටිති. තමන්ට පිහිට තමන්ම වන බවත්, දහමට අනුව ජීවත්වීමෙන් පමණක් සැබෑ සැනසීම උදාකරගත හැකි බවත් මෙම පොසොන් පොහොය අපට සිහිපත් කර දෙයි.
