රට තුළ කිසිදු ආහාර හිඟයක් නොමැති බවත්, ඕනෑම අභියෝගයක් හමුවේ වුවද ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීමට රජය කැපවී සිටින බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන (SAPP) යටතේ ගොවි සංවිධාන වෙත ට්‍රැක්ටර් බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

ගලේවල, නාඋල, මහියංගණය ඇතුළු ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් දේශීය රටකජු නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කර ඇත. ආනයනික රටකජු වෙනුවට දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම ජාතික අවශ්‍යතාවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ගොවීන් ජාතික සම්පතක් ලෙස සලකා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය ප්‍රමුඛත්වය ලබා දෙන බව ප්‍රකාශ කළේය.

උත්සවයේදී අදහස් දැක්වූ කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, සීමිත ඉඩම් ප්‍රමාණයකින් උපරිම අස්වැන්නක් ලබා ගැනීම සඳහා නවීන තාක්ෂණය හා යන්ත්‍රෝපකරණ භාවිතය අත්‍යවශ්‍ය බවයි. පසුගිය වසරේ මුං ඇට ආනයනය නතර කිරීමට හැකි වූ ආකාරයටම, රටකජු නිෂ්පාදනය තුළින් ද ආනයන වියදම අවම කර ගැනීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම ට්‍රැක්ටර් බෙදාදීමේ වැඩසටහන මගින් ගොවීන්ගේ නිෂ්පාදන කටයුතු වඩාත් කාර්යක්ෂම වනු ඇති බවත්, එම උපකරණ නිසි ලෙස නඩත්තු කරමින් නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version