ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් අද (30) කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව මේ වන විට අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය සහ උද්ධමනය පාලනය කරගැනීම පිළිබඳව මෙහිදී මූල්‍ය අරමුදලේ විශේෂ අවධානය යොමු විය.
වත්මන් ගෝලීය ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික සහයෝගය අඛණ්ඩව ලබාදීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙහිදී සහතික විය. පසුගිය වසර එකහමාරක කාලය තුළ අරමුදල ලබාදුන් සහයෝගය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය සිය කෘතඥතාව පළ කළාය.
රටේ ඉදිරි සංවර්ධන ගමන් මඟ සැලසුම් කිරීමේදී බලශක්ති, වරාය සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මූල්‍ය ආර්ථික සංවර්ධනය සහ පොදු සමාජ ආරක්ෂණය සමබරව පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, නාගරික අපද්‍රව්‍ය කළමනාකරණය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද පැහැදිලි කළාය. එසේම, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මානව සම්පත් ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීමේ වැදගත්කම ද ඇය පෙන්වා දුන්නාය.
