එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා යුද හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් 1,132කින් සමන්විත කණ්ඩායම වෙත සුබ පැතුම් එක් කිරීමේ විශේෂ අවස්ථාවක් පනාගොඩ, ශ්‍රී ලංකා පාබළ හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ අතර, සාම සාධක මෙහෙයුම් සඳහා පිටත්ව යන භට පිරිසකට සුබ පැතීමට ජනාධිපතිවරයෙකු එක් වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මෙය ශ්‍රී ලංකාවෙන් එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා පිටත්ව යන වැඩිම භට පිරිස ද වේ.

මෙම කණ්ඩායමට යුද හමුදා සාමාජිකයන් 900ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 189ක් සහ බිම්බෝම්බ හා මර උගුල් නිෂ්ක්‍රීය කිරීමේ පුහුණුව ලත් යුද හමුදා කාන්තා සෙබළියන් 43ක් ඇතුළත් වේ. මීට අමතරව, මෙරට නිෂ්පාදිත ‘යුනි බෆල්’ රථ ඇතුළු විශේෂ සන්නද්ධ රථ සහ වෙඩි නොවදින රථ ද මෙහෙයුම් කටයුතු සඳහා ඔවුන් වෙත ලබා දී ඇත.

මෙම පිරිස ඉදිරි අගෝස්තු මාසයේදී හයිටි රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතය. ලෝකයේ ඕනෑම තැනක මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින හමුදාවක් අප සතු වීම රටටම ගෞරවයක් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version