ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) රැස්විය. මෙහිදී එල්නිනෝ (El Niño) දේශගුණික තත්ත්වය හමුවේ කෘෂිකර්මාන්තය, පානීය ජල සැපයුම සහ බලශක්ති උත්පාදනය යන අංශවල සූදානම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
පවතින ආපදා කළමනාකරණ පද්ධතියේ පවතින දුර්වලතා මඟහරවා ගනිමින්, ආපදා වළක්වා ගැනීමට ප්‍රමුඛතාව ලබා දෙන නව නීතිමය රාමුවක අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ඒකාබද්ධ කර සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීමට මෙහිදී යෝජනා විය.
වනජීවි කලාපවල ජල හිඟය මඟහරවා ගැනීමට වැව් ප්‍රතිසංස්කරණය කරන ලෙස පරිසර අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන් ජනාධිපතිවරයා, ජල විදුලි උත්පාදනය සහ සූර්ය බලශක්ති ගබඩා කිරීමේ තාක්ෂණය දියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. නාය යෑම් අවදානමට ලක්වූ පවුල්, විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් නැවත පදිංචි කිරීම සඳහා වසර හතරක විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය විය.
රජයේ රක්ෂණ වාරික ගෙවීමේදී පවතින අසමතුලිතතාවය පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා, විද්‍යාත්මක පදනමක් මත රක්ෂණාවරණයක් ලබා ගැනීමේ හැකියාව අධ්‍යයනය කරන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නේය. එසේම ඉඩම් ඔප්පු නොමැති පවුල්වලට පදිංචිය සනාථ කිරීම මගින් වන්දි ලබා දීමේ වැඩපිළිවෙළක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන් සහ පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයෝ සහභාගී වූහ. ආපදා මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ තාක්ෂණික පහසුකම් වර්ධනය කිරීමට සහ දිස්ත්‍රික් මට්ටමින් ආපදා මධ්‍යස්ථාන පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.
