උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රයේ ආර්ථික පුනර්ජීවනය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක ‘REVIVE’ ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ එහි දෙවන අදියරේ සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි. අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා සහ ලෝක බැංකු නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ත්‍රිකුණාමලය කොඩ්බේ ධීවර වරාය සහ යාපනය ගුරුනගර් ධීවර ගම්මානය ආශ්‍රිත යටිතල පහසුකම් නවීකරණය කිරීමට නියමිතය. ඒ සඳහා වන ශක්‍යතා අධ්‍යයන කටයුතු එළඹෙන සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
කොඩ්බේ වරායේ ජැටිය සහ ස්ලිප්වේ ප්‍රතිසංස්කරණය කිරීම, නවීන ශීතකරණ පද්ධති ස්ථාපිත කිරීම සහ මත්ස්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථාන සඳහා අක්කර 27ක භූමියක් සංවර්ධනය කිරීම මෙහි ප්‍රධාන ඉලක්ක වේ. එසේම ගුරුනගර් ධීවර ගම්මානයේ ධීවරයින් 3,500කගේ ජීවනෝපාය නංවාලීම සඳහා නවීන මත්ස්‍ය වෙන්දේසි ශාලා සහ සෞඛ්‍යාරක්ෂිත කරවල වේලන අංගන ඉදිකිරීමට ද යෝජිතය.
ව්‍යාපෘතියේ දෙවන අදියර හෙවත් ‘REVIVE 2’ යටතේ මුහුදු පැලෑටි, මුහුදු කූඩැල්ලන්, කකුළුවන් සහ ඉස්සන් වගාවන් සඳහා වන අගය එකතු කිරීමේ දාමයන් ශක්තිමත් කිරීමට තීරණය විය. විශේෂයෙන්ම මුහුදු පැලෑටි වගාව සඳහා වෙළෙඳපොළ අවස්ථා හඳුනාගැනීම සහ දකුණු කොරියාව වැනි රටවල් සමඟ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
මෙරට සාම්ප්‍රදායික ධීවර ක්ෂේත්‍රය දත්ත මත පදනම් වූ කාර්මික ක්ෂේත්‍රයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය. මෙම අවස්ථාවට ධීවර වරාය නීතිගත සංස්ථාව, නාරා ආයතනය සහ ධීවර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
