විවිධ අනතුරු හේතුවෙන් දෛනිකව මෙරට ජීවිත 30ක් පමණ අහිමි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පෙන්වා දෙයි. එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා සඳහන් කරන්නේ සෑම පැය තුනකට වරක්ම පුද්ගලයින් හතර දෙනෙකු මෙවැනි අනතුරු හේතුවෙන් මියයන බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ වාර්ෂිකව මෙරට තුළ අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව 8,000ත් 10,000ත් අතර පවතින බවයි. බොහෝ දෙනා රථවාහන අනතුරු කෙරෙහි වැඩි අවධානයක් යොමු කළද, වෙනත් අනතුරු හේතුවෙන් සිදුවන මරණ පිළිබඳව සමාජයේ අවධානය අඩු බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම වැටීම්, දියේ ගිලීම්, විදුලි සැර වැදීම් සහ සර්ප දෂ්ඨනයන් හේතුවෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වේ. මෙවැනි අනතුරු බොහොමයක් නිසි අවධානය යොමු කිරීමෙන් වළක්වා ගත හැකි බවත්, එසේ තිබියදීත් මෙතරම් ජීවිත ප්‍රමාණයක් අහිමි වීම ඛේදවාචකයක් බවත් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
