ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පයාගල, කටුකුරුන්ද ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රී සිදුවූ දරුණු රිය අනතුරකින් කාන්තාවක් සහ කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

බේරුවල ප්‍රදේශයේ පැවති පොසොන් සිරි නැරඹීමෙන් අනතුරුව නිවස බලා යමින් සිටි එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයක්, කොළඹ සිට මාතර දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ 62 හැවිරිදි මිත්තණිය සහ 12 හැවිරිදි පිරිමි දරුවෙකි. ඔවුන් කළුතර දුවේ පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු ඇතුළු තවත් අයෙකු කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තවත් කාන්තාවකට සුළු තුවාල සිදුව ඇත.

බස් රථයේ සවිකර තිබූ CCTV කැමරාවක දර්ශනවලට අනුව, බස් නැවතුම්පොළක නතර කර තිබූ බස් රථය නැවත ගමන් ආරම්භ කරන අවස්ථාවේදී ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථය බස් රථයේ ගැටෙන අයුරු සටහන්ව තිබේ. ත්‍රිරෝද රථයේ රියදුරුට නින්ද යාම අනතුරට හේතු වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

මේ අතර අනතුර සිදුවූ අවස්ථාවේ බස් රථයේ තිබූ රියදුරුගේ ලේඛන සහිත බෑගයක් මගියෙකු විසින් සොරකම් කරනු ලබන අයුරුද එම කැමරාවේ සටහන්ව ඇත. පයාගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version