ජාතික භාෂා සතියට සමගාමීව පැවැති අන්තර් පාසල් විවාද තරගාවලියේ සමාප්ති උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව සඳහන් කළාය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.

භාෂා අයිතිය යනු හුදෙක් සැමරීමක් පමණක් නොව, සෑම පුරවැසියෙකුටම තම භාෂාවෙන් රාජ්‍ය සේවාවන් ලබාගැනීමට ඇති ව්‍යවස්ථාපිත අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. ඒ සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාව නීතිමය ප්‍රතිසංස්කරණ හරහා ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බවද ඇය පැවසුවාය.

එක් භාෂාවක් අනෙක් භාෂාවට වඩා උසස් නොවන, සෑම භාෂාවකටම සමාන ගෞරවයක් හිමිවන සහ සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් භුක්ති විඳිය හැකි සාධාරණ රාජ්‍යයක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

පාසල් සිසුන් අමතමින් ඇය කියා සිටියේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි මෙන්ම සංඥා භාෂාවද ඉගෙන ගැනීම ජාතික සංහිඳියාවට මග පාදන බවයි. නව වචනයක් ඉගෙන ගැනීම යනු ජනතාව අතර අවබෝධය සහ විශ්වාසය ගොඩනැගීමට තබන පියවරක් බවද ඇය පෙන්වා දුන්නාය.

උත්සවයට එක්වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, විවිධත්වය මර්දනය කිරීමෙන් නොව එය ගෞරවයෙන් පිළිගැනීමෙන් පමණක් තිරසාර සාමය උදාකරගත හැකි බවයි. ජාතික සමගිය යනු සැමදෙනා එකම භාෂාවක් කතා කිරීම නොව, එකිනෙකාගේ භාෂා සහ සංස්කෘතීන්ට ගරු කිරීම බවද අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් සංවිධානය කළ මෙම උත්සවයේදී විවාද තරගාවලියේ ජයග්‍රාහී පාසල් කණ්ඩායම් වෙත සම්මාන සහ සහතිකපත් පිරිනැමීමද සිදු කෙරිණි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version