කළුතර පිහිටි ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනය (NIHS) සිය සියවස් සැමරුම් උළෙල අභිමානවත් ලෙස පසුගියදා පැවැත්වීය. 1926 සිට 2026 දක්වා වසර සියයක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම ආයතනය ඉටු කළ මෙහෙවර අගයමින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය මෙන්ම රෝග නිවාරණ ක්ෂේත්‍රයේ ලැබූ ජයග්‍රහණ පිටුපස ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ පුහුණුව ලැබූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කැපවීම විශාල දායකත්වයක් ලබා දී ඇති බවයි.
වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන මහලු ජනගහනය, බෝ නොවන රෝග සහ දේශගුණික විපර්යාස වැනි අභියෝග ජය ගැනීම සඳහා නවීන තාක්ෂණය, පර්යේෂණ සහ නවෝත්පාදනයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
මෙම උත්සවයේදී ආයතනයේ ඉතිහාසය සහ අනාගත දැක්ම පිළිබඳ විශේෂ දේශනයක් පැවැත්වුණු අතර, සියවස් සැමරුම වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් සහ ග්‍රන්ථයක් ද එළිදැක්විණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියෝජිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
