හයවන ශ්‍රී ලංකා – පාකිස්තාන සන්නද්ධ හමුදා ආරක්ෂක සංවාදයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තාන ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් මුහම්මද් අලි මහතා සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා අතර හමුවක් අද (02) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී මෙම හමුව සිදුවූ අතර, එහිදී දෙරටේ ආරක්ෂක අංශ අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
දෙරටේ ආරක්ෂක සහයෝගීතාව, හමුදා අභ්‍යාස හුවමාරුව, පුහුණු අවස්ථා සහ උපායමාර්ගික වැදගත්කමක් ඇති ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම අවධානය යොමු කළහ.
මෙම අවස්ථාව සඳහා පාකිස්තාන අතිරේක ආරක්ෂක ලේකම් රියර් අද්මිරාල් අමීර් මහමුද්, ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ආචාර්ය නයියර් නසීර් සහ පාකිස්තාන ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් යන මහත්වරුන් ද එක්ව සිටියහ.
