සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම වෙනුවෙන් ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියට අදාළ නඩුව අද (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබීය.
මෙම නඩුවේ සැකකරුවන් ලෙස නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් වසන්ත කුමාර අබේසිංහ සහ ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අය නම් කර ඇත.
අද දින අධිකරණයේදී පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතීඥ අසෝක වීරසූරිය මහතා වෙනත් ඉහළ අධිකරණයක නඩුවකට පෙනී සිටීම හේතුවෙන්, නඩුව පසුව කැඳවන ලෙස නීතීඥ සංජය මාරඹේ මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ නඩුව අද දින පස්වරු 2.00ට යළි කැඳවීමට නියෝග කළේය.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් තිදෙනා අද දින අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
