හොරොව්පොතාන ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන කෘෂිකාර්මික ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීමේ අරමුණින් හොරොව්පොතාන වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා ආරම්භ කරන ලදී. ‘වාරි මහිම අපේ උරුමය’ ව්‍යාපෘතිය යටතේ මෙම කටයුතු සිදු කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 100.01ක මුදලක් වෙන් කර ඇත. වැවේ ගේට්ටු සහිත වාන් නිර්මිතය ඉදිකිරීම සහ වැව් බැම්ම ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණයි.

උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ වාරිමාර්ග පද්ධතිය ආරක්ෂා කර ගැනීම සමස්ත රටේම අභිවෘද්ධියට අත්‍යවශ්‍ය බවයි. රජරට ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය පවත්වාගෙන යාම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඉමහත් බවද ඔහු පෙන්වා දුන්නේය.

වැව් ප්‍රතිසංස්කරණය කිරීමේදී රජයේ මැදිහත්වීමට අමතරව ගොවි ජනතාවගේ දායකත්වය සහ අධීක්ෂණය ඉතා වැදගත් බව අමාත්‍යවරයා අවධාරණය කළේය. සංවර්ධන කටයුතු සාර්ථක කර ගැනීමට ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වන කමිටු සහ ගොවි සංවිධාන වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version