යෝෂිත රාජපක්ෂ මහතාව නාවික හමුදාවට බඳවා ගැනීමේදී අක්‍රමිකතා සිදු වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ විමර්ශනයකට අනුව, 2006 වසරේදී යෝෂිත රාජපක්ෂ මහතාව නාවික හමුදාවට බඳවා ගැනීමේදී නිසි අධ්‍යාපන සුදුසුකම් නොතිබියදීත් නීති රීති ලිහිල් කරමින් ඔහුව බඳවා ගැනීමට කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල විෂය සඳහා සම්මාන සාමාර්ථයක් (C) අනිවාර්ය වුවද, ඔහුට තිබී ඇත්තේ සාමාන්‍ය සාමාර්ථයක් (S) පමණක් බව අධිකරණයේදී කරුණු අනාවරණය විය.

අල්ලස් කොමිසම අධිකරණය හමුවේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ, බඳවා ගැනීමේ මූලික නිර්ණායක අවස්ථා දෙකකදීම වෙනස් කරමින් සහ සහතික පත්‍ර නිසි පරිදි පරීක්ෂා කිරීමකින් තොරව මෙම බඳවා ගැනීම සිදු කර ඇති බවයි. කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සැකකරුගේ පවුලේ පෞද්ගලික කරුණු සහ පසුබිම සලකා බලා ඇප ලබා දෙන ලෙසයි.

සියලු කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනෙකු මත මුදා හැරීමට නියෝග කළේය. එමෙන්ම සැකකරුට විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කෙරිණි. අදාළ නඩුව නැවත අගෝස්තු 04 වන දින කැඳවීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version