ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවතින ද්විපාර්ශ්වික වෙළඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශයේදී පැවැත්විණි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයියර් නසීර් මහතා අතර මෙම හමුව සිදුවිය.
මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් කෘෂි අපනයන ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන් පාකිස්ථානයට අපනයනය කෙරෙන තේ ප්‍රමාණය වර්ධනය කර ගැනීමටත්, අන්නාසි සහ අලිගැටපේර අපනයනය කඩිනමින් ආරම්භ කිරීමටත් අවශ්‍ය බාධක ඉවත් කර ගැනීම පිළිබඳව දෙපාර්ශවය එකඟතාව පළ කළහ.
එසේම, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සම් භාණ්ඩ පාකිස්ථාන වෙළඳපොළ තුළ ප්‍රචලිත කිරීම සහ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයට පාකිස්ථාන ආයෝජන ආකර්ෂණය කර ගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි. දෙරටේ ව්‍යවසායකයින් අතර සබඳතා ගොඩනැංවීම සඳහා විශේෂ ව්‍යාපාරික හමුවක් පාකිස්ථානයේදී සංවිධානය කිරීමටද තීරණය විය.
මීට අමතරව, ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය හරහා දෙරටේ කලාපීය ව්‍යවසාය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, මැණික් කර්මාන්තය සඳහා තාක්ෂණික හුවමාරු වැඩසටහන් දියත් කිරීමටත් දෙපාර්ශවය එකඟතාව පළ කර ඇත. මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු දෙරටේම ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
