ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් පියවරක් ලෙස අනුරාධපුර කෝණකුඹුක්වැව මහා විද්‍යාලයේ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා මුල්ගල් තැබීම සිදු කෙරිණි.
ගුවන් හමුදාපතිවරයාගේ සහ මාණ්ඩලික ප්‍රධානියාගේ උපදෙස් මත වවුනියාව ගුවන් හමුදා කඳවුරේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. වවුනියාව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් චන්දන රත්නායක මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම කටයුතු සිදු කෙරේ.
මෙම ව්‍යාපෘතිය යටතේ පාසල තුළ නව පරිගණක විද්‍යාගාරයක්, පන්ති කාමර ශාලාවක් සහ පානීය ජලය පිරිසිදු කිරීමේ පද්ධතියක් (RO Plant) ඉදිකිරීමට නියමිතය. මීට අමතරව සිසුන් සහ ගුරුවරුන් සඳහා නව වැසිකිළි පද්ධති ඉදිකිරීමද මෙහි අන්තර්ගත වේ.
පාසලේ ප්‍රධාන ශාලාව, ආපනශාලාව, ක්‍රීඩාංගණය සහ ප්‍රධාන දොරටුව ඇතුළු යටිතල පහසුකම් රැසක් නවීකරණය කිරීමටද සැලසුම් කර ඇත. මෙම ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදු කරනු ලබයි.
KPMG ශ්‍රී ලංකා ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන අතර, එමගින් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වඩාත් සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කර ඇත.
