ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ (IAU) දෙවන කාර්තුමය ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගිය ජූලි 02 වන දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී පැවැත්විණි.
මෙම රැස්වීමේදී යුද්ධ හමුදාව තුළ ක්‍රියාත්මක දූෂණ විරෝධී වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ජාතික දූෂණ විරෝධී අඛණ්ඩතා තක්සේරුව, යුද්ධ හමුදාව සඳහා වන නව තෑගි ප්‍රතිපත්තියක් සැකසීම සහ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ මධ්‍යගත ඩිජිටල් පද්ධතියක් හඳුන්වාදීම මෙහිදී ප්‍රධාන අවධානයට ලක්විය.
එමෙන්ම, අභ්‍යන්තර කටයුතු ඒකකයට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් ද මෙහිදී සමාලෝචනය කෙරිණි. දූෂණ වැළැක්වීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා QR කේත ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්, යුද්ධ හමුදාව තුළ අඛණ්ඩතා දැනුවත් කිරීමේ වැඩසටහන් පුළුල් කිරීමටත් කමිටුව විසින් අනුමැතිය ලබා දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී මේජර් ජෙනරාල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න, යුද්ධ හමුදා විධායක ජෙනරාල් සහ අභ්‍යන්තර කටයුතු ඒකකයේ අඛණ්ඩතා නිලධාරී මේජර් ජෙනරාල් එම්.ජේ.ආර්.එස්. මෙදගොඩ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
