එල්නීනෝ සහ ලානීනා දේශගුණික චක්‍රයන් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා පරිසර විශේෂඥයින්, ආර්ථික විශ්ලේෂකයින් සහ ජාත්‍යන්තර ආයතන නියෝජනය කරන විශේෂඥයින් පිරිසක් එක්ව සිටියහ. දේශගුණික විපර්යාසයන් නිසා ඇතිවිය හැකි නියඟ, ගංවතුර සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලු මෙහිදී මූලික වශයෙන් සාකච්ඡාවට ලක් විය.
පැසිෆික් සාගරයේ සිදුවන උෂ්ණත්ව වෙනස්වීම් හේතුවෙන් ඇතිවන මෙම කාලගුණික තත්ත්වයන් ඉදිරි වසරවලදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතුවිය හැකි බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම සහල්, තිරිඟු සහ සෝයා වැනි ප්‍රධාන භෝග නිෂ්පාදනයට මෙයින් සිදුවිය හැකි බලපෑම් සහ උද්ධමනය ඉහළ යාමේ අවදානම පිළිබඳව ඔහු අවධාරණය කළේය.
මෙම කරුණු දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ අවධානයට යොමු කරමින්, රටේ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය. දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරගැනීම සහ ඒ සඳහා ප්‍රමාණවත් සූදානමක් පැවතීම අත්‍යවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය.
මෙම ගැටලු සම්බන්ධයෙන් වගකීම් සහගත මැදිහත්වීමක් සිදුකිරීමට තමන් අපේක්ෂා කරන බව පවසමින්, ඒ සඳහා සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා විශේෂඥයින්ට ආරාධනා කළේය.
