රුසියාව විසින් යුක්‍රේනය වෙත එල්ල කරනු ලබන දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ, එම ප්‍රහාර මැඩපැවැත්වීමට අවශ්‍ය මිසයිල සංචිතවල බරපතළ හිඟයක් මතුව ඇති බව යුක්‍රේන ගුවන් හමුදාව අනතුරු අඟවයි.
පසුගිය ඉරිදා දිනයේදී රුසියාව විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල 23ක් විනාශ කර ගැනීමට නොහැකි වූයේ මෙම මිසයිල හිඟය හේතුවෙන් බව වාර්තා වේ. රුසියානු හමුදා මේ වන විට යුක්‍රේනය ඉලක්ක කර ගනිමින් සිය ප්‍රහාර තීව්‍ර කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරිදා දිනයේදී පමණක් රුසියාව විසින් මිසයිල 68ක් සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා 351ක් යොදා ගනිමින් යුක්‍රේනයට ප්‍රහාර එල්ල කර ඇත. මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.
යුද්ධයේ උණුසුම් තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින අතර, ගුවන් ආරක්ෂක පද්ධති සඳහා අවශ්‍ය මිසයිල හිඟය යුක්‍රේනයට විශාල අභියෝගයක් වී තිබේ.
