මහවැලි අධිකාරියේදී පැවැති මාසික ජල කළමනාකරණ කමිටු රැස්වීමේදී ඉදිරියේදී බලපෑ හැකි එල් නිනෝ (El Nino) කාලගුණික තත්ත්වය සහ ඒ සඳහා ගත යුතු පියවර පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි අභියෝග ජය ගැනීමට අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලින් ඉදිරිපත් වූ සැලසුම් මෙහිදී සමාලෝචනය කෙරිණි. විශේෂයෙන්ම කෙටි කාලීනව අස්වනු නෙළාගත හැකි වී වර්ග වගා කිරීමේ වැදගත්කම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දෙන ලදී.

කාලෝචිත ලෙස වගා කටයුතු ආරම්භ කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ අමාත්‍යවරයා, වැසි ජලය රැස් කර තබා ගැනීමේ වැදගත්කම පිළිබඳවද ගොවි ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පැවසීය. මීට අමතරව, වී වගා කරන ප්‍රදේශවල බඩ ඉරිඟු වගා කිරීමේ හැකියාව පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදු කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

ඉදිරි කන්නය සඳහා අවශ්‍ය බීජ සහ පොහොර සැපයුම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. මෙම අවස්ථාව සඳහා වාරිමාර්ග, විදුලිබල හා බලශක්ති, ජල සම්පාදන සහ ආපදා කළමනාකරණ ඇතුළු අදාළ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු රැසක නිලධාරීන් සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version