පාතාල කල්ලි සාමාජිකයන්ට වස දුන් බව පවසමින් තමන්ව අත්අඩංගුවට ගෙන පහර දුන් බවට තරුණයෙකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැනුණු අතර, එහිදී වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු පොලිස් පරීක්ෂක ජයතිලක නමැත්තා සම්බන්ධයෙන් කරුණු අනාවරණය විය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ පොලිස් පරීක්ෂකවරයා මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. කෙසේ වෙතත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ, එම නිලධාරියා මේ වන විට ප්‍රංශයේ ජීවත් වන බවයි. ඔහු වෙනුවෙන් පෙනී සිටීමට නීතිපතිවරයා බලාපොරොත්තු නොවන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි නිලුක මධුරංග නමැති තරුණයා මෙම පෙත්සම ගොනු කර ඇත්තේ තමා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිස් නිලධාරීන් තමාට දරුණු ලෙස පහර දුන් බව පවසමිනි. සිය හක්ක පනින තුරු පහර දුන් බවත්, පසුව තමා රෝහල් ගත කර මුදා හැරිය බවත් ඔහු සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත.

තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීන්දු කර රුපියල් ලක්ෂ 50ක වන්දියක් අය කර දෙන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් 30 වැනිදා දක්වා කල් තැබීමට තීරණය කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version