ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම ජාත්‍යන්තර ශ්‍රව්‍යාබාධිත කාන්තා T20 ක්‍රිකට් තරගාවලිය මොරටුව ද සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (08) උත්සවාකාරයෙන් ආරම්භ විය.

තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 76ක් ලබා ගැනීමට සමත් විය.

මෙම අභියෝගය හඹා ගිය ඉන්දීය කණ්ඩායම පහසුවෙන් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. දිල්ෂානි වික්‍රමසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අතර කාජල් දවාන් ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරයි.

ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය එළැඹෙන 13 වැනිදා දක්වා පැවැත්වේ. බිහිරි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (DICC) සහ ආසියානු බිහිරි ක්‍රිකට් සංගමය (ADCA) සමඟ එක්ව මෙම තරගාවලිය ක්‍රියාත්මක කරයි.

තරගාවලියේ සමාරම්භක අවස්ථාවට මොරටුව මහ නගර සභාවේ නගරාධිපති නිශාන්ත ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රව්‍යාබාධිත ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version