ශ්‍රී ලංකාවේ දිගම ගංගා අතරින් එකක් වන දැදුරු ඔය ආශ්‍රිතව දිගු කලක සිට ක්‍රියාත්මක වන නීතිවිරෝධී වැලි කැණීම් ජාවාරම පිළිබඳ තොරතුරු වාර්තා වේ. කුරුණෑගල, බටුවැව ඇතුළු ප්‍රදේශ කිහිපයක් හරහා ගලා බසින මෙම ගංගාවේ වැලි කැණීම 2019 වසරේදී කුරුණෑගල මහාධිකරණය විසින් නිල වශයෙන් තහනම් කරනු ලැබීය.

කෙසේ වෙතත්, අධිකරණ නියෝග නොතකමින් ඇතැම් පිරිස් තවමත් මෙම ජාවාරමේ නිරත වන බව අනාවරණය වී තිබේ. පසුගියදා බටුවැව ප්‍රදේශයේ සිදුකළ නිරීක්ෂණයකදී මෙලෙස නීතිවිරෝධීව වැලි කැණීමේ නිරතව සිටි පිරිසක් දැකගත හැකි විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලිසිය වෙත දැනුම් දීමෙන් පසු නිලධාරීන් එම ස්ථානයට ළඟා වුවද, ජාවාරම්කරුවන් ඒ වන විටත් එම ස්ථානයෙන් පලාගොස් තිබුණි. ජාවාරම්කරුවන්ට තොරතුරු ලබාදෙන ඔත්තුකරුවන් ප්‍රදේශයේ සිටින බවට පොලිසිය සැක පළ කරයි.

පොලිස් නිලධාරීන් විසින් එම ස්ථානයේ තිබී ජාවාරම සඳහා යොදාගත් උපකරණ රැසක් සොයාගෙන ඇති අතර, ඒවා විනාශ කිරීමට පියවර ගෙන තිබේ. අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් සිදුකරන මෙම ක්‍රියාව සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version