සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීම සඳහා අය කරන ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ අත්සනින් යුතුව ඒ සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
නව සංශෝධනයන්ට අනුව, සීමා සහිත පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 4,600 සිට රුපියල් 5,200 දක්වා ඉහළ දමා ඇත. මීට අමතරව, සීමාසහිත පොදු සමාගමක් සඳහා පැවති රුපියල් 23,000ක ගාස්තුව රුපියල් 26,400ක් දක්වාත්, සීමාරහිත සමාගමක ලියාපදිංචි ගාස්තුව රුපියල් 17,250 සිට 19,800 දක්වාත් වැඩි කර තිබේ.
සමාගමක නාමයක් අනුමත කිරීම සඳහා මීට පෙර අය කළ රුපියල් 2,300ක ගාස්තුව මේ වන විට රුපියල් 2,600 දක්වා සංශෝධනය කර ඇත.
සමිති ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ද මෙම ගාස්තු ඉහළ දැමීම බලපායි. ඒ අනුව, සමිතියක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 3,450 සිට 3,900 දක්වා වැඩි කර ඇති අතර, සමිති ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ ගාස්තුව රුපියල් 1,725 සිට 1,900 දක්වා ඉහළ නංවා තිබේ.
